
ලේ බොමින්, තිරුවාණා ගල් කන මිනිසුන් පිරිසක් ලංකාද්වීපයට ගොඩබට දින සිට මේ වන විට වසර පන්සියයකටත් වඩා ගෙවී ඇති අතර ලේ බීම කෙසේ වෙතත් ඒ තිරුවාණා ගල් කෑම නම් තවත් සහශ්රක කිහිපයක් ගියත් නොවෙනස්ව පවතින ලෙසට ලාංකික සංස්කෘතිය තුළට ඇතුළු වී ඇති බව අවිවාදාත්මක ය. ලේ පැහැති මුද්‍රිකපානය වෙනුවට අද අප බොන්නේ තේ වතුර පැහැති වෙනත් පානයකි.
පාන් යනු කුඩා කල සිටම මගේ ප්‍රියතම ආහාරය විය. පාන් කෑල්ලක් දෙකක් කොටා බාන්නට අද මෙන් ටෝස්ටරයේ දමන්නට සහ ඉන් පසුව ජෑම් බටර් තවරා ගන්නට එදා අපට අවශ්‍ය නොවිණි. පරිප්පු, සම්බෝල, කිරට උයන ලද මාලු පමණක් නොව සීනි ස්වල්පයක් සමග ද, එසේත් නැත්තම් අමු අමුවේ ද, පාන් කන්නට අපි පුරුදු වී සිටියෙමු.
එදා මා කෑවේද අද මෙන් එක්කෝ එක පාන් පෙත්තකි, නැතිනම් දෙකකි. එකම වෙනස නම් මෙයයි. එදා මා පාන් පෙති දෙකක් කෑවේ පාන් ගෙඩියක් පෙති හතරකට කපා ය. එක පෙත්තක් පමණක් කන්නට සිතුණු දිනවල මා කළේ පාන් ගෙඩිය හරි මැදින් සමාන ප්‍රමාණයේ පෙති දෙකකට කැපීමයි.
පාන් යනු ලක්ෂරි කොමොඩිටියක් වූ හැත්තෑව දශකයේ සංවෘත ආර්ථික දුර්භික්ෂ සමයේ දී එක් අයෙකුට එක් දිනයක් සඳහා ලැබුණු පාන් කාලක සලාකයෙන් කුඩා අපි සැනසුනෙමු. එකල පාන් ගෙඩියක මිල ශත තිස් පහක් විය. ඉන් වසරකට දෙකකට පමණ පසුව එක් දිනක එකල බොහෝ විට ගුල්ලන් නමැති ප්‍රෝටීන විශේෂය ද එක් කර තනන මැටි පාන් නමැති පාන් වර්ගයෙන් ගෙඩියක් ශත හැත්තෑපහක් ගෙවා ලබා ගන්නට මම පැය කිහිපයක් ගනේමුල්ලේ ජන්ෂන් හෝටලය සහ බේකරිය අසල පෝලිමේ ද සිට ඇත්තෙමි. සන්ධ්‍යා ප්රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව හෝටලයේ රේඩියෝවෙන් ප්‍රචාරය වූ ප්‍රජා නිවේදනයක් ඔස්සේ එක් එක් ප්‍රදේශවලට රජයේ ආහාර දෙපාර්තමේන්තුව මගින් ඛෙදා හරින ලද පාන් පිටි ටොන් ගණන් හිලව් අසමින් මා එසේ පාන් පෝලිමේ සිටියදී තාත්තා පැමිණ මා නිවසට කැඳවාගෙන ගිය අයුරු තවමත් අද මෙන් මගේ මතකයේ රැඳී තිබේ.
“සත්වසක සාපය” නමින් විරුදාවලිය ලද රටේ දුර්භික්ෂයෙන් පසුව එළැඹුණු මගේ උසස් පෙළ සමයේ දී උදේ පාන්දරින් ම නිවසින් පිටත්වන්නට සිදුවූ නිසා බොහෝ සතියේ දිනවල මගේ පාතරසය වූයේ රොටියකි. උදේට යාන්තම් හෝ පාන් කියාගන්නට ලැබුණේ පෙරදා හවස ටවුමේ කඩයකින් පාන් ගෙඩියක් ගෙනා දිනයක පමණි. උසස් පෙළ සමත් වූ වරදට පේරාදෙණියේ සිව් අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටියදී නම් පාසල් කාලයේ ඇරියසයත් පොලී සමගින් පියවා ගන්නට හැකි වෙන පරිදි හිතේ හැටියට ඇති පදම් පාන් කන්නට මට වරම් ලැබුණි. මේ වෙන විට පාන් ගෙඩියක මිල රුපියල් තුනයි ශත පහක් විය. පාන් (ගෙඩිය දෙකට කපන ලද) පෙත්තක් සහ අගසව් පරිප්පු වතුර පිඟානක් ක්‍රමාංකුංචනය කරන්නට මට වැය වූයේ රුපියල් දෙකයි ශත විසි පහක් පමණි.
පාන් ගෙඩිය මතු බුදුවෙන දින අනෙත් අගසව්වා වෙන්නට පෙරුම් පුරන්නේ ගෝවා බව කියවේ. නමුත් ගෝවා සමග පාන් කෑම යනු මට නම් “අරහං” දෙයකි. ඒ වෙනුවට කිරට පිසින ලද තලපත් මාලු සමග පාන් පෙත්තක් (හෝ දෙකක්) කන්නට ලැබීම නම් මට පණ පිටින් “නිවන් යෑමක්” වැනිය.
රසට හැපෙන කෙට්ටු හුරුබුහුටි රෝස් පාන්, රෝස් ගේ වැඩිමහල් සොයුරු තැටි පාන්, සහ තරබාරු අච්චු පාන් ලෝකයට අනූවේ දශකයේ පැමිණි විදේශික සංක්‍රමණිකයා වූයේ ප්‍රීමා පාන් ය. එකම උසට මහතට හැඩය සැදී, එකම ප්‍රමාණයේ පෙතිවලට කැපී, ප්ලාස්ටික් උරයකින් සැරසී උජාරුවෙන් බංගලා හන්දියේ කඩේ ෂෝ කේසයේ වැඩ සිටි ප්‍රීමා පාන් කුමරියෝ රසයෙන් මට සිහි කළේ පෙර කී හැත්තැවේ දුර්භික්ෂ සමයේ ගිල දැමූ නවදැලි හේන් ලකුණ දරණ මැටි පාන් ම ය. එකම වෙනස වූයේ මෙදා මැට්ට හොඳින් වේලී තිබීමයි.
ප්‍රීමා පාන් යනු සාමාන්‍ය මාතර බේකරියේ පාන් මෙන් නිපදවා එක් දිනකින් කල් ඉකුත්වන ආහාරක් නොවීය. එහි අඩංගුකර තිබූ කුමක් හෝ අමුද්‍රව්‍යයක් නිසා ප්‍රීමා ගෙඩියක් දිනක් දෙකක් පමණ කල් තබාගෙන වුව ද කෑමට හැකිවිය. ඒ දීර්ඝායුෂ ලැබීමේ පවට කර ගසන්නට වී තිබුණේ ප්‍රීමා පාන්වල රසටයි. ඇත්තටම කියනවා නම් නීරසටයි.
මුල්වරට ප්‍රීමා පාන් ගෙඩියකට කළ ආයෝජනය බොල් වූ පසු ආයේ මා ප්‍රීමා දෙස නෙත් හැර බැලුවේ බේකරි බාස්ලා සිංහල අවුරුද්දට ගමට ගොස් තාවකාලිකව ගල් වෙන සති දෙකක පමණ කාලයේ දී පමණි.
මෙසේ විවිධාකාරයේ ශ්‍රී ලාංකික තිරුවාණා ගල් රසවිඳිමින් සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ මට දක්නට ලැබුණේ ප්‍රීමාකාරයේ නීරස පෙනුමැති පාන් මිස වෙනත් පාන්වර්ගයක් මෙහි නැති බවයි. රෝස් පාන්, අච්චු පාන්, තැටි පාන් සොයා හඬා වැටුණු මගේ පන්සීයක් රස නහරවලට යන්තම් හෝ සහනයක් ලැබුණේ ග්‍රීක් එළවලු කඩයේ පමණක් විකිණීමට තිබුණු රාත්තලේ පාන් වර්ගයකිනි. ප්‍රීමා පාන් ගෙඩිය මෙන් ප්ලාස්ටික් දවටනයකින් වැසී තිබුණ ද, රසයෙන් මේ පාන් ප්රීමාට වඩා තරමක් ඉදිරියෙන් සිටියේය. බේකර්ස් ඩිලයිට් නම් සුවිශේෂී පාන් කඩ ද, සුවිශේෂී වෙළඳ සලකුණැති පාන් වර්ග ද කඩපොළේ දකින්නට තිබුණු නමුත් ක්‍රය ශක්තිය පිළිබඳ ප්රශ්නය නිසා ඒවා අත්හදා බැලීමට නොසිතුණෙන් ලංකාවේ දී ලද පාන් රසය නම් තවදුරටත් අපට තවත් ගව් ගණනක් දුරවිය.
මින් වසර කිහිපයකට පසු කාලයක දී, පරණ පුරුදු ලාංකික පාන් රසයට බොහෝ සමාන රස වින්දනයක් ඕස්ට්‍රේලියාවේ දී මට මුලින්ම ලැබුණේ හෙල්ගාස් නම් වූ විශේෂ පාන් වර්ගයකට පින් සිදුවන්නටයි. මේ සොයා ගැනීම කෙතරම් ප්‍රීතිමත් එකක් වුවද දිනපතා හෙල්ගාස් කෑම තරමක ප්‍රශ්ණයක් විය. එය හේතුව නම් කඩපොලේ ඇති ටිප්ටොප්, වොන්ඩර් වයිට් වැනි සාමාන්‍ය ලේබල් පාන් වර්ගවලට වඩා හෙල්ගාස් පාන් දෙගුණයක් තරමටම මිල ඉහළවීමයි. එසේ වෙතත්, සති දෙක තුනකට වරක් මේ පාන් වර්ගයේ මිල සතියේ සුවිශේෂී මිල අඩු කිරීම් යටතේ තුනෙන් එකක් පමණ අඩුවෙන නිසා, එතෙක් බලා සිට හෙල්ගාස් පාන් මිලයට ගැනීමට මම පුරුදුවුණෙමි.
ඊට අමතරව, ප්‍රධාන සුපිරි වෙළඳසැල් දෙකේ මේ මිල අඩුකිරීම් සිදුවෙන්නේ වෙනස් සතිවල දී වීම ද මගේ හෙල්ගාස් පාන් මිල දී ගැනීම වඩාත් පහසු කළේ ය. අද වන විට නම් හෙල්ගාස් වර්ගයේ තවත් පාන් වර්ගයක් ඇබොට්ස් බේකරි නමින් ඇත. බොහෝ විට සතියේ විශේෂ මිල අඩුකීරීම් යටතේ මේ දෙවෙනි වර්ගයේ මිල අඩුකරන්නේ හෙල්ගාස් පාන් මිල අඩුකර නොමැති සතිවල දී වීම ද අද මට ඇති තවත් වාසියකි.
මා සිත ගත් හෙල්ගාස් පාන් සම්බන්ධයෙන් මගේ සිතේ නොමැකෙන සේ රැඳී ඇති එක් අපූරු සිද්ධියක් මෙසේය.
මා හෙල්ගාස් පාන් හඳුනාගත් මුල් කාලයේ යෙදුණු එක්තරා පාසල් නිවාඩුවක තවත් මිතුරු පවුල් කීප දෙනෙකු සමග අපි ප්‍රාන්තයේ වෙනත් ප්‍රදේශයක් බලා දින තුනක විනෝද චාරිකාවක ගියෙමු. මෙවැනි ගමන්වලදී අප නතරවෙන්නේ දිනපතා මිලට කුලියට ගත හැකි කුඩා නිවාසවල ය. මිතුරු පවුල් එක ළඟින් ඇති නිවාසවල, සමහර විට එක නිවසක පවුල් දෙක බැගින්, නවාතැන් ගැනීමත්, උදෑසන ආහාරය සහ රාත්‍රී ආහාරය එක්ව ගැනීමත් අපේ සිරිත විය. දිවා කාලයේ අවට සිරි නැරඹීමට යනෙන නිසා නවාතැනේ දී ආහාර ගැනීමක් සිදු නොවේ.
චාරිකාව යාමට පෙර දින අවශ්‍ය බඩු බාහිරාදිය මිලට ගැනීමට වෙළදසැලට මා රැගෙන ගිය බඩු ලයිස්තුවේ හෙල්ගාස් පාන් ද ඇතුලත් විය. නමුත් අවාසනාවට මෙන් ඒ සතියේ හෙල්ගාස් පාන් මිල අඩුකර නොතිබුණි. එනිසා, ඉතා කණගාටුවෙන් වුවද, නියමිත මුලු මුදලම ගෙවා පාන් මිලට ගැනීමට මට සිදුවිය.
විනෝද චාරිකාවේ මුල් දින රාත්‍රියේ අප නවාතැන් ගත් කුඩා නිවාස කිහිපය පිහිටා තිබුණේ කුඩා ගංගාවක් අසබඩ උද්‍යානයක් මෙන් දිස්වූ භූමියක ය. රාත්‍රී ආහාරය සඳහා එක නිවසකට එක්ව කා, බී, ගී ගයා සතුටෙන් ගත කළ අප පවුල් කිහිපය පසුදා උදයේ ද එකම නිවසකට එකතු වූයේ පාතරාසය සඳහායි. මා එහි ගියේ මගේ ප්‍රියතම හෙල්ගාස් පාන් ගෙඩි දෙකක් ද රැගෙන උජාරුවෙනි.
උණු, උණු පරිප්පු හොද්දක ගිල්වමින් පාන් පෙති කීපයක් ම මා එදා උදෑසන අතුරුදහන් කළේ හෙල්ගාස් පාන් ලංකාවේ අච්චු පාන්වලට රසයෙන් ඉතා සමාන බවට අපේ මිතුරන්ට සහතික දෙමිනි. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් මගේ ඒ නිගමනය කෙතරම් දුරට සත්‍යදැයි වහාම පරීක්ෂණාත්මව සොයා බැලූහ. ටික වේලාවකින් දෙවෙනි හෙල්ගාස් පාන් ගෙඩියේ කවරය ද විවර විය.
මේ මොහොතේ දී අප රැස් වී සිටි නිවස ඇතුළත දිව ආවේ අපේ පවුල්වල කුඩා දරුවන් කිහිප දෙනෙකි.
“අම්මී, අම්මී, ඩක්ස්ලා ඉන්නවා, ඩක්ස්ලා ඉන්නවා. අපිට ඩක්ස්ලාට කන්න දෙන්න දෙයක් දෙන්න, ප්ලීස් ප්ලීස්?”
ඔවුන් උද්දාමයට පත් වී සිටියේ උද්‍යානය අසල කුඩා ගං ඉවුරට රැස් වී සිටි තාරා රංචුව දැකීමෙනි. වැඩිහිටියන් ආහාර ගනිමින් සිටි මේසය උඩ තිබූ පාන් බෑග් දෙස ඔවුන් ගේ නෙත් ඇදී ගියේය.
“අපිට දෙන්න පාන්, ඩකීස්ලට දෙන්න පාන්,” ඔවුනතරින් එක් දරුවෙක් මේසය උඩ තිබුණු සාමාන්‍ය වර්ගයක පාන් බෑගයකට අත තැබුවේය.
එවිටම කතා කළේ එහි සිටි එක් මවකි.
“පුතාලා මෙන්න මේ පාන් ටික අරන් යන්න ඩකීස් ලා ට දෙන්න,” ඇය දරුවන් අත තැබුවේ පෙති කිහිපයක් පමණක් කෑමෙන් පසු ඉතුරු වී තිබූ මා ගෙනා දෙවෙනි හෙල්ගාස් පාන් බෑගයයි.
“අනේ මේ අලුත් පාන් ජාතිය නිකං ඇඹුල් රහයි, ලුණු රහයි විතරයි. මට නං කන්න බෑ. අපි තාරාවන්ටවත් කන්න දෙමු,” ඇය ඒ සමගම පැවසුවාය.
මගේ පපුව හෝස් ගා දැවී ගියාක් මෙන් දැනුණි. ඒ තාරා කෑම ලෙස ගර්හිත කරනු ලැබුවේ මා ප්‍රියතම හෙල්ගාස් පාන් ය. වෙනදා මා කන හෙල්ගාස් පාන් නම් කම් නැත. මේ සල්ලි, සල්ලි කියා නොබලා නියමිත මුලු මුදලම ගෙවා මා පෙර දා මිලට ගත් හෙල්ගාස් පාන් ගෙඩියකි.
කෙතරම් දැඩිවුව ද, ඒ දුක උසුලාගෙන මම මුවින් නොබැණ සිටියෙමි.
වසර විස්සක් පමණ ගෙවී තිබුණද අද පවා හෙල්ගාස් පාන් ගෙඩියක් දුටු විට මගේ සිහියට නැගෙන්නේ මේ සිදුවීමයි.
ඉන් මා අද ලබන වින්දනය, හෙල්ගාස් පාන් ගෙඩියකින් තුන් කාලක් ම තාරා හීල් දානය සඳහා “තාංගීක” වෙනු දැක එදා මා ලද සන්තාපයට වඩා බලවත් ය.
- රසික සූරියආරච්චි
rasika.suriyaarachchi@gmail.com

මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
++++++++++++++++++++++++++++++++++++++++++👌🙏💐🫠
ReplyDeleteස්තුතියි
Deleteසිසිල පාඨකයන් අතර ජනප්‍රිය " අපේ කාලේ කතන්දර " කියවීමෙන් මාගේ මතකය ඇවිස්සුනි.
ReplyDeleteමීට දශක අටකට පෙර අම්මා දෙන ශත විසිපහ අතේ ගුලිකර ගෙන භිමිදිරියේම කලුවැල්ලේ සීට ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපස සවුත් සිලෝන් හෝටලයට දුවන්නේ
පාන් ගෙඩියට ශත විසිතුනක් දී ඉතිරි ශත දෙකෙන් හවසට ලඟ කඩෙන් කුඩා වයිවර්ණ " ටීක් බෝල " දෙකක් ගන්නයි.
එලෙසම, 53-59 සමයේ සෑම නත්තල් නිවාඩුවකටම පාහේ බම්බලපිටියේ ඇන්ටිලාගේ ගෙදර යන්නේම නත්තල් කන්නයි , ඥාති අයියයි අක්කලා දෙන්නත් එක්ක එයාලගේ කාර්යාල නත්තල් පාටිවලට රිංගල කොහොමහරි සෙල්ලං කාර් එකක් ඩැහැ ගන්න යි.
ඒ අතර දී හවසට කොල්ලුපිටිය පෙරේරා ඇන් සන්ස් බේකරියට දුවන්නේ ඇන්ටි දෙන ශත විසිපහෙන් උණු උණුවේ දුම්දමන රසවත් පාන් ගෙඩියක් ගේන්නයි.
එලෙසම, අනූව දශකයේ සෑම සෙනසුරාදාවකම ප.ව. 1.30 ට වැඩ ඉවරවි කොල්ලුපිටියේ සිට ගාල්ල - නාගොඩ ගෙදරට යතුරුපැදියෙන් යද්දී , වැල්ලවත්ත ග්ලෝබ් බේකරි පාන්ගෙඩියක් පණස් ගණන්වල ගත්තාට වඩා දෙසීය ගුණයකටත් වඩා වැඩි මුදලකට ගන්නේද කොලඹ පාන්ගෙඩියට රස වැටිලයි.
👌🙏💐🫠
Deleteඅතීතකාමය....
Deleteමං නං ඒ කාලේ (විතරක් නොවෙයි දැන් පවා) වැඩියෙන් ම කැමති රෝස්-පාන් සහ ඤාණකතාවලටයි.
අනූව දශකයේ මැද පවා පාන් ගෙඩියක් 3:50 නේද?
70 මුල ශත 35
77 මුල ශත 75
77 මැද ශත 60 (තාවකාලිකව)
1981 දී 3.05
කණගාටුයි. මට වැරදුනා පාන්ගෙඩියේ මීල මවිසින්ම අහසට නැංවීම ගැන. ස්තූතියි මිල යාවත්කාලීන කිරීම ගැන.
Delete